“ඉර දිගට පැල් විස්ස” නමින් අතීත මුලාශ්‍ර වල සඳහන් ගම මාවෙල යැයි අනුමාන කල හැකිය. මාවෙල කොත්මලේ පැරණිතම ගම් වලින් එකකි. එහි ලිඛිත ඉතිහාසය දුටුගැමුණු කුමාරයාගේ කාලය දක්වා දිවෙයි. ජනප්‍රවාද හා ජනශ්‍රැති වලට අනුව එය අවුරුදු 3000කට ආසන්න සංස්කෘතියක් ඇති ගමකි.
එය ලංකා ඉතිහාසය හා හෙල ඉතිහාසය යන ඉතිහාසයන් දෙකටම සම්බන්ධතා ඇති ගමකි. ලංකා ඉතිහාසයේ තීරණාත්මක අවස්ථා දෙකක් සඳහා මාවෙල සෘජුවම සම්බන්ධ වෙයි. එනම් විජය රජුගේ ආක්‍රමණයෙන් පසු යලි වරක් ස්වදේශිකයින් රාජ්‍යත්වයට පත්වීම සඳහා සිදු කරන ලද සාර්ථක වූ උත්සාහයෙහි මාවෙල ගම ඇත. එම උත්සාහය ඓතිහාසිකව කොහොඹා යක් කංකාරිය සමඟ බැඳී ඇත.
පඬුවස් දෙව් මහ රජුට වැළඳුනු දිවි දෝෂය වළක්වා ගැනීම සඳහා කොහොඹා කංකාරිය සිදු කර ඇත්තේ මාවෙල ස්වදේශික ගොත්‍රිකයින් (යක්ෂ) විසිනි. මෙය දිවි දෝෂයක් වශයෙන් හඳුනා ගත්තද ඇත්ත වශයෙන්ම එය යලිත් වරක් ඉන්දියානු ආක්‍රමණිකයින් පරදවා ස්වදේශිකයින් රාජ්‍යත්වය ලබාගත් පසු සිදු කරන ලද යාගය වශයෙන් හැඳින්වීමට පුලුවන.
මෙම යාගය අවසානයේදී සුවපත් වූ පඩුවස් දෙව් රජු විසින් සිදු කරන ලද මෙහෙය සිහිවීම සඳහා ඔහුගේ හිස් පළඳනාව මාවෙල ස්වදේශීකයින්ට දී ඇත. මෙම හිස් පළඳනාව “හඟලෙ” නමින් වර්තමානය වන විටත් ඩෙල්ටා ගැමුණුපුර පැරණියකුගේ නිවසේ ඇත. එය වාර්ෂික මොරපේ කතරගම දේවාලයේ පෙරහැර වස්තුවක් වශයෙන් ගමන් කරවයි.
ලංකා ඉතිහාසයේ ඒ තරම් පැරණිව (පුරා විද්‍යා කැනීම් වලින් ලබාගත් නොවන ) ඇති එකම සජීවී භාණ්ඩය මෙය විය හැකිය. එය මාවෙල ලංකා ඉතිහාසය හා සම්බන්ධ කරන මූලික අවස්ථාවයි. දෙවන අවස්ථාව ගැමුණු කුමරාගේ වසර 10ක ජීවිතය හා බැඳී පවතී. දුටුගැමුණු ලංකා ඉතිහාසයේ සුප්‍රසිද්ධ ම සහ ජනප්‍රිය ම රජුය.
දැනට මාවෙල වශයෙන් හඳුන්වන ග්‍රාම නිලධාරී වසම් තුනටම අයත් ප්‍රදේශයේ මොහුගේ ජීවිත කාලයෙන් තරුණ විය ගෙවී ඇත. ඔහු විසින් වගාකරන ලද කුඹුරු තවමත් ගමේ පැරණි පවුල් වලට හිමිවී ඇති ජීවමාන සාක්ෂින්ය. ඔහු විසින් භාවිතා කරන ලද පිහිල්ල රණමුන (රණ අරමුණ) අද දක්වා ගමේ ජනප්‍රියම නාන පිහිල්ලය. ඔහු ද අනෙක් ගැමියන් හා එක්ව වගා කරන ලද කුඹුරු ඔහු විසින් තබන ලද නම් ද ඇතිව මේ ගමට තවම බත සපයයි. ලංකා ඉතිහාසයේ ජනප්‍රියම රජු වසර 10ක් රැක බලාගත් මේ කුඩා ගම මේ වන විටත් සිය අභිමානය හා ආඩම්බරය තබාගෙන සිටී.
ගැමුණු කුමාරයා හා සම්බන්ධ ජනශ්‍රැති හා ජනප්‍රවාද සිය ගණනක් අද දක්වා ගැමියන් විසින් ආරක්ෂා කරගෙන ඇත. ඔහුට සම්බ්නධ ස්ථාන 50කට ආසන්න ගණනක් මේ ගමේ ඇත. දුටුගැමුණු රජ වූ පසුව ලංකාව වෙනුවෙන් මාවෙල කුඩා ගමේ දායකත්වය වෙනුවෙන් පවුල් කිහිපයකට දෙන ලද පෙළපත් නාම දරා අභිමානවත් ලෙස ජීවත් වන පවුල් ගණනකි. (ලංකා පේලි (පෙහෙලි-), සිංහල පේලි (පෙහෙලි) ගෙදර ආදී පෙළපත් නාම දුටුගැමුණු රජු විසින් ගම්වැසියන්ගේ දායකත්වය වෙනුවෙන් ලබා දී ඇති පෙළපත් නාමයන්ය) (පෙහෙලි යන්නෙන් අදහස් වන්නේ යලි යථාතත්වය ට පත් කරවන ලද යන අරුතයි)
No comments:
Post a Comment